අතුරුදන් වූ නෞකාව
"සොෆී ඇන්ඩසන්"
°_තුන්වන කොටස_°
"ඉතින්"
"නැව ආපහු ආව ගමන්, එහි කාර්ය මණ්ඩලයේ සිටි අයගෙන් බාගයකට වැඩිය, නැවේ සේවයෙන් ඉවත් කළාලු.” ඇය කීවාය. “මට ඒක කිව්වෙ බිලී ඒකට හේතුව මම දන්නෙ නැ. නමුත් අලුතෙන් බැඳුණු සේවකයන් තමයි. ඒ අඩුවට නැවට බඳවාගත්තේ, මගේ සැමියා ලී සහ තෝමස් කෝබට් දෙදෙනාත්, ඒ අතරට ඇතුළත් වුණා. ඔවුන් වැල්පරයිසෝ වෙත ගිහින් ආපහු එන්න ගතවෙන කාලය, සාමාන්‍යයෙන් මාස 7 ක් හෝ 8 ලු. ‘86 මැයි මාසෙ අන්තිම වෙද්දී, ආපහු එංගලන්තයට ළඟාවන්න පුළුවන් බවයි ඔවුන් කිව්වේ. ඒ ඉතින් මුහුදු කාලගුණය යහපත් වුණොත්, මුහුදුසුළං සතුටුදායක විදියට හැමුවොත්. ඔවුන්ට කුණාටු වලට මුහුණ දෙන්න වුණොත්, ගමන ප්‍රමාද වීමට ඉඩ ඇති බව මං දැනහිටියා. නමුත් මහත්තයෝ....." ඇය කථාව නවත්වා යළිත් කදුළු සැලීමට පටන්ගත්තාය. මෙතෙක් වේලා නිහඬව සිටි ඇගේ මගේ දෙනෙතට ද කඳුළු ඉණු අයුරු මම දුටුවෙමි.
විලර් මහත්මිය කථාවේ ඉතිරිහරිය කීවේ, මිනිත්තු කිහිපයකට පසුව ය.
".......බඩු පටවාගෙන ආපහු එන අතරෙ දි, අත්ලන්තික් සාගරයේ කොහේදි හරි, නැව අනතුරකට මුහුණ දී ඇති බවයි අපට අහන්න ලැබුණේ. එයින් කිසිම කෙනෙකු ජීවිත ගළවාගෙන නැති බව, නැව් සමාගම පුවත්පත්වලට කියා තිබුණා. රක්ෂණ මුදල් ලැබුණු වහාම, නාවිකයන්ගේ පවුල්වල අයට වන්දි ගෙවන බවත් ඔවුන් කියා තිබුණා. නමුත් අවාසනාවකට වගේ, බිලී වීලර් අවිවාහකයෙක් හැටියටයි, ඔවුන්ගේ පොත්පත්වල සඳහන් වෙලා තිබුණේ. නැව අනතුරට ලක්වෙලා, බිලී මෙලොවින් සමුගනිද්දී, මගේ දරුවාට යාන්තම් මාස හතරයි මහත්මයා. අවුරුද්දක් පිරෙන්නත් කලින් මේ දරුවා අනාථයෙක් වුණා!"
මිනිත්තු කිහිපයක නිහඬතාවයකට පසු මගේ මිත්‍රයා කතාව ඇරඹුවේය.
"සොෆී ඇන්ඩසන් නෞකාව මුහුදුබත් වුණු ප්‍රවෘත්තිය, මමත් පුවත්පත්වල කියෙව්වා. ජීවිත සෑහෙන ගණනක් විනාශ කරමින්, ඒ වුණු සිදුවීම අහල අපිත් කම්පා වුණා. ඔබේ සැමියාත් ඒ අනතුරින් වියෝ වූ කෙනෙක් බව, මට අහන්නත් කණගාටුයි. ඒ අනතුර වෙලා දැන් අවුරුද්දකටත් මඳක් වැඩියි. ඉතින් ඔබ මා හොයාගෙන ආවෙ මොන කරුණක් සම්බන්ධයෙන් ද?”
"හෝම්ස් ගෙත්මයා. මං මේ සුදානම් වුණේ, ඔබට ඒ ගැන කියන්න. මගේ සැමියා නැව් නැගිලා ගියාම, මං ලිවර්පූල් වල පදිංචිය අතහැරලා, බ්‍රිස්ටල්හි පදිංචියට ආවා. ඒ මගේ අම්මා සමග ඇගේ නිවසේ ජීවත් වෙන්න. පාදවල සන්ධි ආබාධයකින් පෙළෙන නිසා, ඇයටත් රැකියාව කරන්න අමාරු තත්ත්වයක් තමා උදාවුණේ. ඉතින් මං තීරණය කළා, දරුවා අම්මා ළඟ දමලා රැකියාවකට යන්න. මං කලිනුත් රෝහලේ පිරිසිදු කරන්නියක ලෙස රැකියාවක් කර තිබූ නිසා, යළිත් එතැන රැකියාවට බැඳීම මට අපහසු වුණේ නැහැ. උදේ පාන්දරින්ම රැකියාව සඳහා පිටත් වී එන මං, ආපහු යද්දී ඇඳිරි වැටිලා. දින හතරකට කලින් දුම්රිය පොළේදී මං මුහුණ දුන්නේ පුදුමාකාර අත්දැකීමකට......
ඒ දිනවල ලිවර්පූල්වල ඉඳිද්දී. මගේ සැමියාගෙ හොඳම මිතුරා වුණේ, තෝමස් හෙවත් ටොමි කෝබට් බව මං ඔබට කියුවා. ඔහුත් මගේ සැමියා සමග "සොෆී ඇන්ඩසන්" නැවේ කාර්යමණ්ඩලයේ කෙනෙකු හැටියට, චිලී රටට ගිය කෙනෙක්. අනතුරෙන් මිය ගිය අයගේ නම් ලැයිස්තුවේ, ඔහුගේ නමත් තිබුණා"
"ඉතින්?"
'නමුත් දින හතරකට කලින්, මං ටොමි කෝබට්ව මගේ ඇස් දෙකෙන්ම දුටුවා !"
අපි තරමක පුදුමයකට පත්වීමු. මිනිත්තු දෙක තුනකට පසු මගේ මිත්‍රයා කථා කළේය.
"එක වගේ මුහුණුවර තියෙන පුද්ගලයින් සමාජයේ ඕන තරම් ඉන්න පුළුවනි. ඔබ දුටු ඔය තැනැත්තා,කෝබට්ගේ පෙනුම තියෙන්න වෙනත් කෙනෙකු වෙන්න ඇති......
"ඒක නම් කොහොමටවත් වෙන්න විදියක් නෑ හෝම්ස් මහත්මයා" ඇය කීවාය. “ ඔහු මුහුණ පුරා රැවුලක් වවලා හිටියේ. ඒක හුගක්ම දිග එකක් නෙමෙයි. කළු - සුදු - මිශ්‍ර ඒ කියන්නේ අළුපාට රැවුලක්.
"ඔබ දුටු තැනැත්තා කෝබට්ම බව ඔබ විශ්වාසෙට හඳුනාගත්තේ කොහොමද?"
"කෝබට් උසින් අඩි හයකට මඳක් අඩු, සෘජු සිහින් සිරුරක් තිබුණු කෙනෙක්. ඔහුගේ කන්පෙති හාවෙකුගේ වගේ දෙපැත්තෙන් මඳක් ඉදිරියට නැමිලා. නැහැය ගිරා හොටක් වැනි එකක් ඔහුගේ දෙනෙත් නිල් පාටයි....."
"ඔය ලකුණු යම් පුද්ගලයෙකුට සුවිශේෂ වූ ලක්ෂණ කියලා අපට භාරගන්න අමාරුයි" හෝම්ස් කීය. “ඒ මොකද ඔය විදියේ අංගෝපාංග තියෙන අය සමාජයේ ඕනැ තරම් ඉන්න පුළුවනි".
"නමුත් කෝබට්ගේ මුහුණේ වම් පැත්තේ. තුවාල කැළලක් තිබුණා............මම දින කිහිපයකට පෙර දුටු තැනැත්තාගේ මුහුණේත් තුවාලයක් හොඳ වූ කැළලක් තිබුණා” ඇය කීවා ය.
"කැළලක් වුණත් වැදගත් වෙන්නේ, ඉතාම විශේෂ ආකාරයකට පිහිටියොත් පමණයි” හෝම්ස් කීය. "නැව් වල රැකියාව කරන අයගේ මුහුණුවල, සණ්ඩුසරුවල් හෝ හදිසි අනතුරු නිසා ඇති වූ තුවාල කැළැල්, සුලභව දකින්න පුළුවනි."
"නැහැ හෝම්ස් මහත්මයා" ඇයකීවාය. "මේක බොහොම කලාතුරකින් දකින්න ලැබෙන තාලයේ එකක්. මම ජීවිතේටම ඒ වගේ දෙයක් දැකල නැහැ. ඒක වක්‍රාකාර කැළලක්"
"වක්‍රාකාර කැළලක්?"
"ඔව් මහත්මයා"විලර් මහත්මිය කීවාය. "කෝබට්ගේ මුහුණේ තිබුණු එම කැළල මං ඉතා පැහැදිලිව, ළඟටම දැක තිබෙනවා. ඒ කාලයේ ඔහු රැවුලක් වවලා හිටියේ නැහැ. මගේ සැමියා රැකියාවට ගිහින් ආපහු ගෙදර එද්දී. හවසට මං ඉන්නේ ගෙදර දොරකඩ, ඔහොම - මෙහෙම දුරින්, මං කෝබට්ව ඕන තරම් දැකල තියෙනවා. මුහුණේ වම් පැත්තේ ඇහැට ටිකක් පහළින් කම්මුල මත, මේ කැළල තියෙන්නේ අඩ කවයක හැඩයට, හරියට ලොකු C අකුරක් වගෙයි. නැති නම් තේ කෝප්පයක යටම කොටසේ තැවරී තිබුණු දියර පැල්ලමක්, මේසය මත සලකුණු වෙන විදියට”
සිය වම් අතේ මහපටැගිල්ල හා දබරැගිල්ල, කැපිටල් C අකුරක හැඩය ගන්නා ලෙස වක්‍ර කල ඇය, එය අප දෙසට හරවා, දකුණු අතේ දබරැඟිල්ලෙන් ඒ මත ඇඳ පෙන්වූවාය.
"......රැවුල වවන්න උත්සාහ කළත්, කැළල තිබෙන හරියේ එකම රැවුල් ගහක්වත් වැවිලා නැහැ. ඒ නිසා මම ඒ සලකුණ, පැහැදිලිවම ළඟටම දුටුවා."
"කෙනෙකුගේ මුහුණේ, ඔබ කියන ආකාරයේ සලකුණක් තිබුණා නම්, එය ඉතාම දුර්ලභ දසුනක් තමයි '' හෝම්ස් කීය. “එය ඇතිවුණේ කොහොමද කියා ඔබේ සැමියා කවදා හරි කෝබට්ගේන් ඇසුවාද?"
“ඔව් මහත්මයා" ඇය කීවාය. " කෝබට් කුඩා කාලයේ ඔහුගේ මව, ඔහුට බිමට එළකිරි දමා දුන්නේ, කුඩා බෝතලය කටලූ. ඔහු එය රැගෙන නිවස තුළ දිවයද්දී බිම ඇද වැටී, බිඳුණු බෝතලයේ අඩියෙන් මුහුණ කැපී වක්‍රාකාර තුවාලයක් ඇතිවුණාලු.''
" විශිෂ්ටයි'' හෝම්ස් කීවේ තම දෑත් සතුටෙන් පිරිමදිමිනි. "මිනිස් සිරුරේ සෑදුණු කැළැල් වල, සුවිශේෂ හැඩ ගැන,ප්‍රමාණ ගැන, මා පොත් පිංචක් ලියන්න පටන් අරගෙන හුඟක් කල්.ඒකට අනිවාර්යයෙන්ම ඇතුළු කළ යුතු කරුණක් මේක හොඳයි. ඔබේ කතාව දිගටම කියන්න ඔබ ඊළඟට මොකද කළේ?"
"දුම්රිය පොළේ සෙනග අතරේ මේ මිනිහා දුටුව ගමන්, මං පුදුමයට පත්වුණා." ඇය කීවාය. “මට හොඳටම විශ්වාසයි, ඔහු මා නුදුටුව බව දුම්රියට නගින්න සෙනග තෙරපෙන අතරේ. ඔහු හිස් වැස්ම ගළවලා අතට ගත්තා. ඒ නිසයි මං ඔහුගේ මුහුණ පැහැදිලිවම දුටුවේ. ඔහු, හිසේ මුදුන විතරක් තට්ටය පෑදුණු කෙනෙක් " ටොමි කෝබට් " කියා මට එක්වරම කෑගැහුණා. එය ඇසුණු වහාම ඔහු තිගැස්සුණා. අතේ තිබුණු දුඹුරු පාට රෙදි තොප්පිය ඉහළට ඔසවා මුහුණ වසාගත්තා. ඒ ගමන් හොරෙන්ව මා හිටි පැත්ත බැලුවා, ඔහු මාව ළඟටම දකින්න ඇති. දුම්රියට නැගීමේ අදහස අත්හැර දැමූ ඔහු, අනික් පැත්තට හැරිලා සෙනග අතරින් රිංගා යන්න ගියා. මාත් දුම්රියට නොනැඟ, ඔහු ගිය පැත්තට සෙනග අතරින් රිංගා ගෙන ගියා. නමුත් ඒ වෙනකොට ඔහු නොපෙනී ගිහින්. හෝම්ස් මහත්මයා මං අහන්නේ මේකයි. ඔහු ටොමි කෝබට් නෙමෙයි නම්, ඇයි නම කිව්ව වහාම තිගැස්සුණේ? ඇයි පැන දිව්වේ?"
"ඔව් ඔබ නිවැරදියි" මගේ මිත්‍රයා කීය. “ඔහු හිස්වැස්ම ඔසවා මුහුණ වසාගන්න උත්සාහ කළ එක, අපේ හිත්වල සැකයක් ඇති කරනවා. ඒකෙන් තේරෙන්නේ ඔහු තම අනන්‍යතාවය වසන් කර ගැනීමට උත්සාහ දැරූ බව. හොඳයි ඊළඟට ඔබ මොකක්ද කළේ?“
"මහත්මයා අපට අහන්න ලැබුණේ "සොෆී ඇන්ඩසන්" නැව සමග, එහි සිටි හැම දෙනෙක්ම මුහුදුබත් වුණා කියලයි" ඇය කීවාය. "නමුත් මේ හිටියේ නම් ටොමි කෝබට් බව මට හොඳටම විශ්වාසයි. එහෙම නම් මගේ සැමියා බිලීට මොකද වුණේ? මට දැනගන්න උවමනා එපමණයි. ඔවුන්ගේ නැව රුවල් කැඩී ගිහින් ඈත මුහුදේ ගසා ගෙන ගියාද?
කොහේ හරි පාළු දූපතකට ගොඩ බැහැලා, කලක් රොබින්සන් රුසෝ වගේ ඉඳලා ආපහු ආවද? එහෙම නම් බිලි ආවෙ නැත්තෙ ඇයි? මේ වගේ ප්‍රශ්න ගනණාවක් මගේ හිතට ආවා.
ඉතින් මම දැන් දවස් තුනක් ම, ඒ වෙලාවට දුම්රිය පොළට ඇවිත්, ඒ දුම්රියට නගින්න ඉන්න සෙනග අතරේ, ඔහු ගැන පරීක්ෂා කළා. නමුත් ඔහුව දකින්න ලැබුණේ නැහැ. අන්තිමේදී මං මේ අවුල ගැන, මගේ අසල්වාසි වයලට් හන්ටර් මෙනෙවියට කිව්වා. ඇය තමයි මට උපදෙස් දුන්නේ ඔබ හමුවෙන්න කියලා”.
" බොහොම හොඳයි" හෝම්ස් කීය. " මට පෙනෙන්නේ මේක, බොහොම සිත් ඇදගන්නා ගැටලුවක් වගෙයි. වීලර් මහත්මිය මට මුලින්ම කියන්න, මේ ටොම් කෝබට්ගේ පෙනුම කොහොමද කියලා"කියූ හෝම්ස් තම සටහන් පොත ළං කර ගත්තේය.
" ඔහුගේ උස අඩි හයකට වඩා අඟල් දෙක තුනක් අඩුයි” ඇය කීවාය. “මගේ සැමියා බිලී අඩි හයක කෙනෙක්. ටොම් ඊට වඩා මිටි බව මට මතකයි.
" ඔබ කන්දෙකේ හැඩය ගැන අපට කිව්වා.' හෝම්ස් කීය. “නාසය ගිරාහොටක් වැනි උල් වකුටු එකක් බව කිව්වා. ඇස්වල පාට නිල් පාට බව කිව්වා. හිසකෙස් හා රැවුල අළු පැහැතියි. ඊළඟට හිස මුදුනේ පමණක් තට්ටයක් ඇති බවත් කීවා. ඔහුගේ මුහුණේ හැඩය වඩාත් ළංවන්නේ මෙයින් මොන මුහුණටද?
ලාච්චුවක් එළියට ඇද, එහි තිබූ ලිපි ගොනුවක් විවෘත කළ හෝම්ස්, අපරාධකරුවන්ගේ විශාල කළ ඡායාරූප කිහිපයක් ඇයට ඉදිරිපත් කළේය. ඉතා උනන්දුවෙන් ඒවා පරික්ෂා කළ කාන්තාව අන්තිමේදී එයින් එකක් තෝරා ගත්තාය.
"යම් පමණකට හරි සමාන කමක් තිබෙනවා නම්, ඒ මෙන්න මේ මුහුණේ හැඩයට" ඇය කීවාය. “ඒ දවස්වල ඔහු රැවුල සම්පුර්ණයෙන්ම මුඩුකරලා හිටියේ”
“මං කැමතියි ඔහුගේ මුහුණේ ඇති කැළලේ හැඩය හා ප්‍රමාණය හරියටම දැන ගන්න. " හෝම්ස් කීවේ, පුද්ගලයෙකු මුහුණ පැත්තකට හරවාගෙන සිටින ඡායාරූපයක්, ඇය වෙත ලබා දෙමිනි. "කරුණාකරල මේ පැන්සල අරගෙන, ඔබ එය දුටු ආකාරය ඡායාරූපය මත අඳින්න”
ඔන්න අද දිග එපියක් ගේනාවා ඔයාලට ...🤩හෙට මේ කොටසේ අන්තිම කොටස ගේන්නම් ඔයාලට...😇
0 Comments